Saturday, September 28, 2013

සෙරෙප්පුව..


ඒ අඳුරු සෙනසුරාදාවක්. සැරින් සැරේ පොද වැස්සක් වැටෙනවා  හීතල හුළඟක් එක්ක.හොඳටම දන්න කියන නගරෙක ගොඩක් ජනාකීර්ණ තැනක ඉඳන් මම පාරක් දිහා බලාගෙන ඉන්නවා. එතැන තෙමෙන්නේ නැති වුණාට මම පුරුද්දට වගේ  ගිහින් පීල්ලක් කැඩුණු තැනකින් බේරෙන වතුර පාරකට සරින් සැරේ මගේ දකුණු කකුල අල්ලනවා. එහෙම කරනකොට වැහි බින්දු සෙරෙප්පුව දිගේ, කකුලේ ඇඟිලි පැත්තේ ඉඳන් වළලුකර හරියට විතර ගලාගෙන ඇවිල්ල මගේ කලිසම් කකුලට වැටෙනවා. ටිකෙන් ටික අඟල් පහක් විතර උඩට යනකල් අර වතුර කලිසම් කකුලට උරාගෙන  හැමතැනම විසිරෙනවා. ටිකකින් එතැනට ගොඩක් මිනිස්සු එද්දී මට ඈතට යන්න වෙනවා සෙල්ලම නවත්තල.එතකොට අර තෙමිච්ච කලිසම් කකුල මගේ ඇඟේ ගෑවෙනකොට දැනෙන සීතලයි අමුතු ලස්සන හැගීමයි ඉස්සරහ මම ගොඩක් සතුටුවෙනවා.


ටිකකින් මම එතන ඉඳල වෙන තැනකට යනවා. එතැනට යන්න පාර පනින්න වෙනවා. වැස්ස නිසා හේදිලා ආපු කුණු ගොඩවල් පිරුන පාරේ මම උඩ පැන පැන යනවා..මඩවලවල්වලින් බේරෙන්න.ඒත් ටිකකින් ඒ වැඩේ අමතක කරලා සෙරෙප්පු දෙකයි කකුල් දෙකේම මහපට ඇඟිල්ලයි නෑවෙන්න මම මඩේ සෙල්ලම් කරනවා.මම මෙතනට ආවේ ඇයි කියල මතක් වෙද්දී මම ගොඩක් පරක්කුවෙනවා. කමක් නෑ ඔන්න..මෙහෙම යමු.මම මටම කියාගන්නවා. එතකොටම මම බලාපොරොත්තුවෙන් හිටපු කෙනා හෙමින් අදාළ තැනට යනවා මම දකිනවා.පාර අයිනේ තිබුණු තෙත තණකොළ ගොඩක හෙමින් සෙරෙප්පුව පිහිදාළ මම එයා පස්සෙන් දුවනවා.අපි හෙමින් කතා කර කර කරන්න ආපු පාඩම් වැඩේ කරනවා.

එකපාර එයා මගේ දිහාව බලනවා. මමත් ඇස ලොකු කරගෙන එයා දිහා බලාගෙන ඉන්නවා. මට පුංචි අපහසුතාවයක් වගේ දෙයක් දැනෙනවා. 'අඩෝ මම උඹට වඩා උසයි' වෙලාවට කිසිම ගැලපීමක් නැති වුනත් එහෙම දෙයක් හරි කටට ආපු නිසා මම කියල දානවා. එයා හිනාවෙනවා. පස්සේ  මගේ කකුල් දෙක දිහා බලාන ඉන්නවා.

'ඇයි..? රබර් සෙරෙප්පු දෙකක් දාගෙන මම රස්තියාදුකාරය වගේ අද ආවේ.' මම අහනවා.

'මචං..මචං ඔය සෙරෙප්පු දෙක..'

එයා කියාගෙන යනවා. ඒ  කතාව අහන ඉන්නකොට මටත් හොරෙන් නම නොදන්නා කඳුලක් අර මඩ නෑවුණු සෙරෙප්පුව උඩට වැටෙනවා. කඳුළු හරියට වේලෙන කල් මම අර වැටුණු කඳුළු බින්දුව එතන තිබුණු මඩ එහාට කරලා සුද්ද කරන හැටි බලාගෙන ඉන්නවා.මට දැනුන විදියට එයා ඒ කඳුල දකින්නේ නෑ. ටිකකින් ඔක්කොම හරි යනවා.  සෙරෙප්පුවත් හෙමින් වේලෙනවා. අපි අපේ වැඩේ පටන්ගන්නවා ආයෙම.

*****

එක හවසක අපේ ගෙදර ඉස්තෝප්පුවේ එයයි ,මමයි බිම වාඩිවෙලා ඈත අහස දිහා බලාන ඉන්නවා,  ඇස්වල කඳුළු පුරවගෙන.  එයාගේ ඔලුව මගේ කකුල උඩ තියාන එයා හෙමින් කතා කරනවා. මම අර සෙරෙප්පු දෙකෙන් එකක් වම කකුලෙන් බිමට තියල කරකවනවා අමිහිරි ටිකක් ලොකු සද්දයක් එන්න. ඒ මට ඒ මොහොත දරාගන්න බැරි තරම් හිතට බර වැඩි නිසා.. මට කරන්නේ මොනවද කියල හිතාගන්න බැරි  නිසා. එතකොට මම දකිනවා තවමත් අර කලින් මඩ පැල්ලම ඒ සෙරෙප්පුවේ තියෙනවා කියල. 'පුදුමයි' මට කියවෙනවා.

*****

'යන්නෙපා. පොඩ්ඩක් ඔහොම ඉන්න.' 

එයා කියනවා,ඔලුව බිමට හරවගෙනම මම ආපහු හැරෙනවා. එයා මාව එකපාරටම බදාගන්නවා. මට දැනෙනවා එයාගේ හදවත ඒ වෙලාවේ ගැහෙන විදිය. 

'හයිය වෙයන්..'

මටත් නොදැනීම මම එයාට මුමුණනවා. එකපාරටම උගුර හිරවෙන්න ගනිද්දී කඳුළුවලින් ඇස් වැහෙනවා. මම එහෙමම ඉන්නවා. ඒ උණුසුම ළඟ ඒ විනාඩි ගානේදී මට මාවම පේනවා. හැමදෙයක්ම අතාරින්න හදද්දී උන් මාව උඩට ඇදගෙන  ආපු හැටි මතක් වෙනවා..මාව වෙවුලනවා. ටිකකින් තොල හැපිලා ලේ එනවා කියල දැනෙනවා. කොච්චර අප්‍රසන්න වුනත් ඒ වෙලාවේ මම ඒ ලේ ටික හෙමින් දිවෙන්ම පිහිදාළ කඳුලුත් හංගගෙන එයාගේ උරහිසෙන් අල්ලලා ගිහින් එන්නම් කියනවා.ඒත්..වචන පිට වෙන්නේ නෑ.කොහොමහරි අමාරුවෙන් වචන ඇහිඳගෙන 'බුදුසරණයි' කියල මම එතනින් එහාට යනවා. වාහනේට නැගල මම දණහිස් අතරේ ඔලුව ගහගෙන සන්සුන් වෙන්න හදනවා. කවදාවත් හෝදපු නැති ඒ සෙරෙප්පු දෙකේ තවත් අලුත් කඳුළු වේලුනු පැල්ලම් ගොඩක් තියෙනවා මට පේනවා. මම පරිස්සමට සෙරෙප්පුව ගලවලා හෙමින් අර කඳුළු මඩ පැල්ලම් වටේ ඇඟිල්ලෙන් අඳිනවා. ඒ පැල්ලම් ඇතුලේ ලියවුනු කවදාවත් අමතක කරන්න බැරි කතන්දර ගොඩක් මට තවත් රිද්දනවා. මම අතේ තිබුණ සෙරෙප්පුව බිමට විසි කරනවා. එතකොට ඒකෙ තිබුණ වැලි කැට ගොඩක් මගේ ඇඟ පුරාම වදිනවා. මට රිදෙනවා. 

*****


මචං..මචං හැමදේම කොයින්සයිඩ් වුණා ..

මට හීනෙන් වගේ ඇහෙනව. සිය ගානක් මිනිස්සු මැද්දේ මට ඉකි ගැහෙනව. එතකොට ආයෙම තව කඳුළු බිංදුවක් දකුණු කකුලේ මහපට ඇඟිල්ල ගාවට වෙන්න කලින් කඳුළු බින්දු වැටිලා වේලුණු  අර දුවිලි පැල්ලම් තියෙන සෙරෙප්පුව උඩට වැටෙනවා.  

Subscribe by email